තිවංක කතාව
නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය‍් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.
මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.
තිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්‍රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ
පොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.
ඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.
නකුල මුනි
2020 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබපු “පේත” නවකතාව රචනා කරපු එරික් ඉලයප්ආරච්චි මහත්මයාගේ අලුත්ම නවකතාව තමයි මේ.
පසුගිය වසරේ ඔහු රචනා කරපු “මැස්සා” කෘතියත් ගොඩක් අය අතරේ කතාබහට ලක් වුණා. තරුණ සංගීතවේදියෙක්ගේ චරිතයක් පදනම් කරගනිමින් නූතන කලාව ගැන විමසන මේ කෘතිය හැමෝටම එක සේ රසවිඳින්න නම් පුළුවන් වෙයිද කියන එක සැකයි. හැබැයි හැමෝම කියවන්න උත්සාහ කළ යුතු පොතක් හැටියට රෙකමදාරු කරන්න කැමතියි.
—
තරුණ සිංහල සංගීතවේදීයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්‍ය සේන පිළිබඳ ආචාර්ය උපාධි ලබා මව් රට පැමිණේ. ඔහු තම පර්‍යේෂණයෙන් මඟ හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කතාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පර්මෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ තවත් සංගීතවේදීන් ගැනය. කලාව පිළිබඳ පටු ආකල්ප වලින් ඔද්දල් වී ගිය පකිස් කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සැබෑව, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය අතර මං මුළා වෙති…