වාමාංශික ජනප්‍රියවාදයක් සදහා
පසුගිය කාලයේ ලෝක දේශපාලනය තුළ
ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත
පදනම් වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ලක්
බලගතු ලෙස නැගී ආවේය. මෙම ප්‍රවාහයට
අභීයෝග කළ හැක්කේ ‘ප්‍රභූ තන්ත්‍රයට’
එරෙහිව ‘ජනතාව’ ලෙස දේශපාලන බෙදුම්
ඉරක් ජනප්‍රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම
අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ
හැකි ‘වාමාංශීක’ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට බව
ශන්තාල් මුෆ් තර්ක කරයි.
දශක ගණනාවක නව ලිබරල් ආධිපත්‍යය නිසා
නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල
අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම
තුළින් දක්ෂීණාංශීක ජනප්‍රියවාදය සාර්ථකත්වය
ලබා තිබේ. එම අභීයෝගයට මුහුණ දීමට නව
ලිබරල්වාදය සමඟ අනන්‍ය වී සිටින ‘ලිබරල්’
මැද මාවතට නොහැකිය. වාමාංශීක
ජනප්‍රිියවාදය යනු වාර්ගික ස්වෝත්තමවාදයට
සහ ප්‍රභූවාදී නව ලිබරල්වාදයට එරෙහි, එසේම
ගතාවුගතික වාමාංශයේ පන්ති ඌනිතිවාදී
ප්‍රවේශයට ද වෙනස් විකල්ප දේශපාලනයක්
යෝජනා කරන උපාය මාර්ගයකි
රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම
මෙහි දී අපගේ විමසුම් ඇස නාභිගත වන ප්‍රශ්නාර්ථිකය වන්නේ නූතන රෝමාන්තික ප්‍රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දේ, යලි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයි ද යන්න යි. ප්‍රේමයේ මෙම ගතිකය Falling in love ලෙස හඳුන්වන ප්‍රේමය තුළට ඇදවැටීම යන්නට පටහැණි වෙයි. ඉහත කෘති සමස්තය සියුම් ලෙස සහ අන්තර් – පඨිතමය ලෙස කියවමින් ප්‍රේමය තුළට ඇද නොවැටෙන නූතන ලාංකේය ප්‍රේමයේ දුරවබෝධ ගතිකයන් සොයා යාමට මෙහි දී අප උත්සාහ කරමු. මේ කියවීම තුළ න්‍යයයික සංකල්පවලට අනුව ආඛ්‍යාන රාමුගත කිරීම වෙනුවට අප සිදු කිරීමට උත්සාහ ඇත්තේ ආඛ්‍යාන තුළ පුනරාවර්තනය වන සාධක ඔස්සේ සංකල්පීය ප්‍රවර්ග නිර්මාණය කර ගැනීමයි. එම සංකල්පීය ප්‍රවර්ග යම් යම් න්‍යායයික සංකල්ප සමඟ සමාන්තර වන අවස්ථාවන් හි දී වූවත් අප එම සංකල්ප සමඟ මෙම ප්‍රවර්ග අනන්‍ය කරන්නට උත්සාහ කර නැත. මෙම කෘතිය ලාංකේය සාහිත්‍ය කියවීමේ භාවිතයන්ට සේම ප්‍රේමය පිළිබඳ සංකල්පගත කිරීමට ද යම් එකතු කිරීමක් සිදු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
Recent Comments