1865 සිට හියු නෙවිල් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර් ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන් අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස් කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්, ඒ ඇසුරින් නිර්මාණ කරන්ටත් උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන් කිහිපදෙනකු පමණි. සමන් පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත් බොහෝ දුර ගමන් කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක් හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන් පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි’” නමැති මෙම කෘතියෙන් සිංහල ජන සංගීත ක්‍ෂේත්‍රය මත ප්‍රබල ආලෝක ධාරාවක් පතිත වන බව අපගේ විශ්වාසය යි. |