ෆරාෂා ගවුස් මන්නාරම් වැලි පොළොව ලෙයින් නැහැවෙද්දීත් යහපත් හෙටක් පැතූ මිනිසුන්ගේ හුස්මින් ලොව දුටුවාය. ඇගේ පාටපාට ලෝකය කළු සුදු වෙද්දීත් ඇය ජීවිතයේ අරුත සෙව්වේ ඒ නිසාය. තිත්ත කළුවර මුරුගසන් වැස්සේ කුඩා බෝට්ටුවේ මහමුහුදේ වියරු දිය රැළි හා පොර බඳින තුරුත් ඇයට ආදරණීය පවුලක් තිබුණි. රළු මුහුදට ඇගේ ලෝකය යට වූ දා පටන් ඇය ජීවිතය නාඳුනන මිනිසුන් හා එක්ව දකින්නට වෙර දැරුවාය. එහෙත් යුද්ධය දැක දැක ජීවත් වූ ඇයට යුද්ධයේ මර හඬ නෑසී ජීවත්වෙන්නට බැරි ය. දහසක් විලාපයන් මැද්දේ සහෘදයන් යළි හමු වෙතැයි වූ ෆැන්ටසියක ඈ ජීවත් වූවාය. ඒ ෆැන්ටසියෙන් අවදිවන්නට ඈ ලෝභ වූවාය. මේ වේදනාව අවසන පාට පාට සමනල්ලූ, බත්කූරන් අත්තටු ලා ඇගේ නිජ බිමේ පියාසර කරනු ඇතැයි ඈ සිතුවාය. දහසක් වූ සංක්රමණික පක්ෂීන් සේ ඇයට ඒ මනරම් දූපතට සංක්රමණය කරන්නට හැකි යැයි ඈ විශ්වාස කළාය. ලේ පිපාසිත වෙඩි උණ්ඩවලින් ජීවිතය කියවූ ඇය සිය නමක් නැති කතාවට නමක් සොයන්නේත් ඒ නිසාය. ඇගේ කතාවට නමක් දෙන්නට ඔබට හැකිවේවිද?