සංසක්කාරී
…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
ප්‍රේමානිසංශ
පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.
චක්‍රවර්තී
ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගතේ ය.
රාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අගුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හිං හීතලද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යාන්තමින් සඳදිය උතුරන සඳමඩල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය.
යාන්තමින් දැස පියවීගෙන එද්දී සැවැන්දරා සුවඳක් සමග කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැගවූ කිනිස්ස වෙතය.
“ඇතුළෙ කළුවරයි අයියණ්ඩි.. මට බය හිතුණා.” ඒ හඬ සිහින් කෙඳිරියක් මෙන් විය.
කොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඩල වැසී ගියේය.
හින්දොස්මාලේ
රාශි චක්‍රයේ 7, 14, 21 රිට්ටාවෙන් උපදින්නන් උපදින්නේම යක්ෂ දෝෂ හා ඇල්ම බැල්ම ඇතිව යයි අතීත විශ්වාසයක් ද වූයේය. ඒවා දුරුකරලීමට සතරබුදුවරුන්ම වැඩම කරවිය යුතු වන්නේලු. හින් හෙවත් සින් යකුන් දෙවිදේවතාවුන් මෙන් ම වන්නි හත්පත්තුවේ වනාන්තරවලට අධිගෘහිත වූයේය. මේ යක්ෂ ඇල්ම බැල්ම වැටුණු අවාසනාවන්තයන්ට ජීවිතයම ශෝකාලාපයක්ම වූවාට සැක නැත. වන්නි බණ්ඩර දේවතාවුන් ලෙසින් හැඳින්වුණද ඒ දේවතාවුන් දෙවියන්ට වඩා යක්ෂයන්ට සමීප වූවන් බවද පැහැදිලි වෙයි. බොහෝ විට පෙරහැර සැදී වන්නි හත් පත්තුව මැදින් ගමන් කළේ දෙවි දේවතාවුන්ම පමණක්ම නොවේ. බොහෝ යක්ෂයින්ද ඒ අතර වූ බව පෙනෙයි.
දිවයිනට ගොඩ බට බොහෝ දේවතාවුන්ට පරිවාර පෙරහැර ද වූයේය. මේ දේවතා යක්ෂ පෙරහැර සාමාන්‍ය වන්නි ජනතාව බියපත් කරමින් සැමදා වැජඹුණේය. දේවතාවුන් පසුපස යන මේ පන්දම් පාලියද පසු කලෙක බණ්ඩරවරුන් වී තමුන්ම හිස උදුම්මවා ගත්හ. දමිළ පන්ඩාරම්වරුන් හෙවත් බණ්ඩරවරුන්ද සූරාකෑම තරම් වෙන යමක් මානව සමාජය වෙත ප්රදානය කර නැතැයි මට සිතේ.
මාල කව් නම් වූ ශෘංගාර කාව්‍යයන් බිහිවුණේ මේ නිලමක්කාරයින්ගේ නොසන්සිඳුණු ආශාවන් තෘප්ත කරලීමේ අපේක්ෂාවෙන්ය. පැරකුම්බා සිරිතින් යන්තමට ඇරඹුණු පුද්ගල කාම ශක්ති වර්ණනාව මහනුවර යුගය වෙද්දී එහි උච්ඡතම අවධියට එලැඹ තිබුණේය. රජදරුවන්ගේ පමණක් නොව ඇහැලේපොළ, මොනරවිල, පිළිමතලව්වේ වැනි නිලමක්කාරයින්ගේද කාම ශක්ති වර්ණනාවන් මාල කවි බවට පත්ව තිබුණේය. ඒ හැර කල්ල මාලේ, ආඬි මාලේ, රණහංස මාලේ ආදි විවිධ කාම වර්ණනා ඇතුළත් මාල කව්ද බිහි වූයේය. හින් දොස් මාලේද මාල කාව්‍යයක් වුවද එයින් කියැවෙන්නේ එකී හින් යකුන් හෙවත් කුඩා යකුන් විසින් සිඳ බිඳ දමනු ලැබූ වන්නි හත්පත්තුවේ සාමාන්‍ය ජනතාව මුහුණ පෑ ව්‍යසනයේ මාල කථාවයි.
සැබෑව සෑම විටෙකම ගිලෙන්නේ දෙවි දේවතාවුන්ගේ ප්රාතිහාර්යයන් තුළය. එයින් සැබෑව සදහටම යටපත් වී ප්රාතිහාර්යයන් පමණක්ම ඉතිරි කෙරෙනු ඇත.
සන්ධ්‍යානන්දය
කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නෙ නෑ.කවුරු හරි දකී කියලද? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකද්ද?