කුර හඬෙකි වියැකෙන
නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.
දෙවැනි ගැහැනිය
“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…