හැරදා නොයන්නෙමි
“හදවතින් මැරිච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා… මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිහිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා.ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා…..මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියත් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම වෙච්ච දෙයක් හොයා ගත්තට පස්සෙ”
පවුරු බිද
අල්ලාගත් මාළු කූරීන් පීතරගෙ කඩයට දී ඒ මුදලට ආප්ප රැගෙන මම ගෙදර ගියෙමි.මම ආප්ප ටික ලොකු අක්කාට දුනිමි. අම්මා කොණ්ඩය පීරමින්කුස්සියට ආවේ ඒ අතරය.චූටියා අම්මාගේ චීත්තයේ ඒල්ලී හඬමින් එයි.
“කට පියාගෙන හිටපිය… ආයෙ බලියන්න පටන් ගත්තොත් දෙනවා තොට පොල් පිත්තක්අරං.. ඇයි යකෝ තොපිලගෙ සුමේ කරලම මට නිදහසක් නෑ.. එළිවෙච්ච වෙලේ ඉදලම මටවද දෙනවා…
ලොකු අක්කාත් මමත් මූණෙන් මූණ බලා ගත්තෙමු. අම්මා ළමයින් වැදුවා විතරය. උන්ව හදන්නේ ලොකු අක්කාය. නංගිලා මල්ලිලා රංචුවේ සියලු දහදුක විඳින්නේ ලොකු අක්කාය.
“කොයින්ද උඹට ආප්ප ගත්ත සල්ලි..?”අම්මා මගෙන් ඇසුවේ අක්කා අත වූ ආප්පයක් කඩා කටේ දමා ගනිමින්ය.” මං මාළු අල්ලල වික්කා…”
“ඔක්කොම වික්කද?.…… නොදකින් අපටත් දෙන්නෙක් ගේන්න එපායැ. යකෝ මේකට
තව පොල්කිරි ටිකක් දැම්මනම්. කිරි පීතරගෙ ගෑනිගෙන් ගන්නවා වගේනෙ හරියට … පොල්කිරි පෙන්නලා විතරයි..”අම්මා රස පරීක්ෂා කොට ගුණ දොස් කීවාය..”ලොක්කි…මං යනවා. එද්දි හවස් වෙයි. ලොකු හාමිනේලගෙ දිහා හෙට වතා දානෙ. මං වී කොටලා දෙන්න යනවා. මේකෙම රිංගගෙන ඉදලා හරියන්නෑ. යන ලෝකෙටත් මොනාහරි කරගන්න ඕන…”