දුම්රිය නුවරට ළඟා වන විට වේලාව දහවල් එකහමාරට පමණ ආසන්න විය. යොෂිකාට, ධනුෂ්කගේ උරහිස මත නින්ද ගොස් තිබිණි. ඇයට බාධා නොවන අයුරින් නොසැලී සිටි ධනුෂ්ක ඇගේ හිස සිප ගත්තේය.යොෂිකා තිගැස්සී දෙනෙත් විවර කළේ ඇගේ මුහුණට දැනුණ ස්පර්ශය නිසාය. ඇය, ධනුෂ්කගේ උරහිසෙන් හිස එසවූයේ ලැජ්ජාවෙනි.“සොරි…” ඇය මිමිණුවාය.“හම්මේ… උරහිස් පත්තක් දාන්න වෙනවා…”ධනුෂ්ක උරහිස පිරිමැද ගනිමින් කීවේය.“යන්න අනේ…”ඇය නෝක්කාඩුවෙන් කීවේ ඔහුගේ උරහිසට පහරක් ගසමිනි.ඔහු සැහැල්ලුවෙන් සිනාසුණේ ඇයට සිප ගැනීම දැනී නොතිබුණු නිසාය. ඔහු දුම්රියෙන් පිටතට අඩිය තිබ්බේ හිරි අරිමිනි. සිතේ තිබුණේ අමුතුම සතුටකි.“අපි කාලාම යමු නේද..? ටේ්‍රන් එක පිටත් වෙන්නේ තව පැයකින්…”නුවරඑළිය බලා දුම්රිය ධාවනය වෙන වේලාව පරීක්ෂා කර බැලූ ධනුෂ්ක විමසුවේය.“අම්මෝ ඔව්… මට පට්ටම බඩගිනියි..”යොෂිකාට එක්වරම කියැවිණි. ධනුෂ්කට සිනා නැඟිණි. ඇය බැරෑරුම් යුවතියක ලෙස පෙනුණත් ඇගේ ඇතුළත සරළ සැහැල්ලු යුවතියක් ඇතැයි ඔහුට සිතිණි.“බුදු අම්මෝ.. යමු යමු එහෙනම්…”********************************************