” ලබන අවුරුද්දේ ඉඳලා දුන්හින්නෙ ඉස්කෝලෙට යන්ට ඕනෑ.
මේ පාර වාර විභාගෙ ඉවර වුණාම අස්වීම සහතිකෙත් අරගෙනම
එන්ට ඕනෑ නිවාඩු දුන්න ගමන්ම.” අප්පච්චි කියනවා අහගෙනයි.
“පයින්ම යන්ට එපායැ… පොඩි එකාට ලේසි වෙන එකක් නෑ,”
අම්මා කිව්වා.
දුන්හින්නෙට හැතැප්ම දෙකක් විතර තිබුණා ගමේ ඉදලා
තෙල්දෙනියේ යනකොට දුන්හින්න ඉස්කෝලෙ දැකලා තියෙනවා
සම්පත්. ලොකු ඉස්කෝලෙට ගමේ ඉදලා ළමයි එන බව සම්පත්
දැන හිටියා. තමන්ටත් කවදාහරි ලොකු ඉස්කෝලෙට යන්ට වෙන
බවත් දැනන් හිටියා.
“කොල්ලො කෙල්ලො ඔය යන්නෙ. අපේ එකත් පුරුදු වෙයි.”
අප්පච්චි කිව්වා.
මල්ලිකා නංගි ඉගෙන ගන්ට කම්මැලියි. ඊලඟ අවුරුද්දෙ
එයත් දුන්හින්න ඉස්කෝලෙට ආවා. ඒත් අටේ පන්තියට
විතරයි ගියේ.
“උඹට ඉගෙන ගන්ට බැරි නම් ගෙදර වැඩපලක් ඉගෙන
ගනින්.” අම්මා එක දවසක් කිව්වා සම්පත්ට මතකයි…